සුරාසැල් වැසේවා! දහම් පාසල් දිනේවා!

භික්‍ෂුන් වහන්සේලා ප්‍රමුඛ අතිමහත් බහුතර ජනමතයට කන්නොදී වාද්දුවේ සුරාසලක්‌ විවෘත කිරීම නිසා කළුතර දිස්‌ත්‍රික්‌කයේ දහම් පාසල් සි...

භික්‍ෂුන් වහන්සේලා ප්‍රමුඛ අතිමහත් බහුතර ජනමතයට කන්නොදී වාද්දුවේ සුරාසලක්‌ විවෘත කිරීම නිසා කළුතර දිස්‌ත්‍රික්‌කයේ දහම් පාසල් සිය ගණනක්‌ තාවකාලිකව වසා දමනු ලැබ ඇත. සුරාසලක්‌ නිසා සියවසක්‌ තරම් කාලයක්‌ තිස්‌සේ අඛණ්‌ඩව පවත්වාගෙන ආ දහම් පාසල් සියගණනක්‌ තාවකාලිකව හෝ වසා දමන්නට සිදුවීම ඛේදවාචකයකි. පූජ්‍යපාද ආරියවංශ මහානාහිමියන් හා පූජ්‍ය ලබුගම ලංකානන්ද මහානාහිමියන් විහාරාධිපතිත්වය දැරූ මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහපිරිවෙන් විහාරයත් ඓතිහාසික ශ්‍රී මහාවිහාරයත් සමුද්‍රාරාමයත් අතර පිහිටි ධර්මපාල මහ විදුහල හා වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය වැනි විද්‍යායතනයන් සහිත වාද්දුව නගරයේ මෙතෙක්‌ කල් සුරාසැලක්‌ පිහිටුවිය නොහැකි වූයේ මහා සංඝරත්නය ප්‍රමුඛ අතිමහත් බහුතර බෞද්ධ ප්‍රජාවගේ විරෝධය නිසාය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරය දැරූ කෙටි කාලයේ මුදල් ඇමැති වශයෙන් කටයුතු කළ චොක්‌සි මහතාගේ ක්‍රියාමාර්ගය තම වාසියට හරවා ගත්තෙකු වාද්දුවේ සුරාසලක්‌ විවෘත කරන්නට කටයුතු කළද සුරාසැල විවෘත කරන්නට විනාඩි කීපයකට පෙර සමස්‌ථ ලංකා සාසනාරක්‍ෂක බලමණ්‌ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ගෝණදූවේ ගුණානන්ද හිමියන්ගේ නායකත්වයෙන් එම ස්‌ථානයට සපැමිණි භික්‍ෂුන් වහන්සේලාගේ විරෝධය නිසා සුරාසල විවෘත කිරීම නවත්වන්නට සිදුවිය.

රනිල් වික්‍රමසිංහ ආණ්‌ඩුවේ මුදල් ඇමැති "චොක්‌සි" මහතා අනුගාමිකයෙකු වුවත් ඔහු භික්‍ෂුන් වහන්සේලා ප්‍රමුඛ බෞද්ධ ප්‍රජාවට ඇහුම්කන් දීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් වාද්දුවේ විවෘත කරන්නට කටයුතු යෙදූ සුරාසැල වාද්දුව නගරයෙන් පිටතට ගෙන යන්නට සිදුවිය. එහෙත් බෞද්ධ ජනනායකයකුවූ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙ මෙන්ම මුදල් ඇමැතිධුරයද දරණ ආණ්‌ඩුවක්‌ පවතිද්දී වාද්දුවෙන් ඉවත් කළ සුරාසල යළි යළිත් ආරම්භවීම ප්‍රශ්නකාරී වී තිබේ.

මහා සංඝරත්නයේ හා අතිමහත් බහුතර ජනතාවගේ විරෝධය නොතකා වාද්දුව නගරයේ සුරාසල විවෘත කිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ එයට විරෝධය පා කළුතර දිස්‌ත්‍රික්‌කය තුළ දහම් පාසල් තාවකාලිකව වසා දමන්නට කළුතර දිසා ශාසනාරක්‍ෂක මණ්‌ඩලය විසින් තීරණය කරනු ලැබීමයි. වාද්දුව සුරාසල ඉවත්කළ හැක්‌කේ අධිකරණය මගින් පමණකැයි කියෑවෙන තත්ත්වයක්‌ මතුවී ඇති හෙයින් අධිකරණ තීන්දුවක්‌ හෝ සුරාබදු දෙපාර්තමේන්තුවද අයත්වන මුදල් අමාත්‍යාංශයද ජනාධිපතිතුමන් යටතේ පවත්නා හෙයින් ජනාධිපති නියෝගයකින් හෝ සුරාසල ඉවත්කරන තුරු දහම් පාසල් වසා තැබීමට සිදුවීම භික්‍ෂුන් වහන්සේලාගේත් නිස්‌සරණාධ්‍යාංශයෙන් දහම් ගුරු සේවයට කැපවුණු ගුරු භවතුන්ගේත් දෙමාපියන්ගේත් දහම් පාසල් දරුවන්ගේත් සංවේගයට හේතුවී ඇත.

ඉදිරි මාසය තුළ අධිකරණ ක්‍රියාමාර්ගයකින් හෝ ජනාධිපති නියෝගයකින් හෝ වාද්දුව සුරාසල වැසුවහොත් දහම් පාසල් තාවකාලිකව වසා තිබූ කාලය තුළ අතපසුවූ දහම් අධ්‍යාපනය ලබාදීම සඳහා සෙනසුරාදා ඉරිදා දින දෙකේම හෝ දහම් පාසල් පවත්වන්නට කළුතර දිස්‌ත්‍රික්‌කයේ භික්‍ෂුන් වහන්සේලා වැඩි දෙනෙකුත් දහම් ගුරුවරු බොහෝ දෙනෙකුත් අපේක්‍ෂා සහගතව සිටිති. ඉදිරි මාසය තුළ වාද්දුවේ සුරාසල වසා දැමීමට පියවර නොගතහොත් රටපුරා දහම් පාසල් තාවකාලිකව වසා විරෝධය පෑමේ අදහසක්‌ කළුතර දිසා ශාසනාරක්‍ෂක මණ්‌ඩලය මගින් සමස්‌ථ ලංකා ශාසනාරක්‍ෂක බලමණ්‌ඩලයට ඉදිරිපත් කිරීමේ යෝජනාවක්‌ද සැකසෙන තත්ත්වයක්‌ උදාවී තිබේ. මේ ලිපිය ලියන මගේ යෝජනාව වන්නේ ඉදිරි මාසය තුළ වාද්දුව සුරාසල වැසීමේ පියවර නොගැනුනහොත් මුළු රටේම සුරාසල් වලට අභියෝගයක්‌ වන අන්දමින් ඉරිදා මෙන්ම සෙනසුරාදා ද දහම් පාසල් පැවැත්වීම මගින් දහම් අධ්‍යාපනය නගා සිටුවා අනාගත පරපුර සුරාව පිළිකුල් කරන සමාජ පරිසරයක්‌ ගොඩනැගිය යුතු බවයි.

රටපුරා වේගයෙන් ව්‍යාප්ත වන සදාචාර විරෝධී, සදහම් විරෝධී, හෙළ බොදු සංස්‌කෘතියට එරෙහි ප්‍රවණතාවන්ගෙන් ළමා පරපුර බේරාගෙන ඓතිහාසික ධර්මද්වීපය නව පණ ගන්වා දැමෙන ලොව නිවා සැනසීමේ විශ්වන්තරවාදී මෙහෙවරට නායකත්වය දෙන්නට නම් සතියේ ඉරිදා දින පැය හතරකට සීමාවූ දහම් අධ්‍යාපනය සෙනසුරාදා දිනයේ තවත් පැය හතරක්‌ දක්‌වා පුළුල් කළ යුතුව තිබේ. එසේ දහම් අධ්‍යාපනය නගාසිටුවීමෙන් අනාගත පරපුර සුරාවෙන් මුදාගෙන රටපුරාම සුරාසල් වැසෙන තත්ත්වයකට මගපෑදිය හැකිවේ. බෞද්ධයන් මෙන්ම මුස්‌ලිම්වරුන්ද සුරාවට විරුද්ධවන හෙයින් දහම් අධ්‍යාපනය පුළුල් හා ප්‍රබල කිරීම මගින් ඉන්දියන් සාගරයේ මුතුඇටය වන් ශ්‍රී ලංකාව ඉදිරි දසක කීපය තුළ සුරාවෙන් තොර ආදර්ශවත් රටක්‌ බවට පත්කළ හැකිවනු ඇත. ඉරිදා මෙන්ම සෙනසුරාදාද දහම් පාසල් පැවැත්වීම මගින් ඊනියා උපකාරක පංති ඔස්‌සේ සදාචාර විරෝධී දුරාචාර ගමන්වලට යොමුවන සිසු සිසුවියන්ද දහම් මගට යොමු කරවාගත හැකිවේ. සතියේ පාසල් දිනවල සිසුන් අඳින පාසල් නිල ඇඳුම මෙන්ම දහම් පාසලේ පිළිගත් ඇඳුම වන ළමා සාරිය හා සුදු ජාතික ඇඳුම සිසු සිසුවියන් සදාචාර විරෝධී ධුරාචාර මාර්ග වලින් බේරා ගන්නා ආරක්‍ෂිත පළිහක්‌ වශයෙන් බෙහෙවින් වැඩදායකවේ.

උතුරු කළුතර කැලිඩෝ වෙරළ ඟඟත් මුහුදත් අතර රක්‍ෂිත වනයක්‌ සහිත බිම් තීරුවේ අනාගාරික ආශ්‍රමය පිහිටුවාගෙන සිටින මේ ලිපිය ලියන මට නිතර දකින්නට ලැබෙන සදාචාර විරෝධී දර්ශනයක්‌ වන්නේ, සෙනසුරාදා, ඉරිදා දිනවල වෛවාරන විලාසිතා ඇඳුම් වලින් උපකාරක පංතිවලට යන ඉහළ පන්තිවල සිසු සිසුවියන්ගෙන් කොටසක්‌ කාම උමතුවෙන් මෙන් වැටකේ ගාල් අස්‌සේ කාම රැඟුම් පැවැත්වීමයි. එහෙත් සතියේ දිනවල පාසල් නිල ඇඳුම නිසා පාසල ඇරී පාසල් නිල ඇඳුමෙන් උතුරු කළුතර කැලිඩෝ වෙරළේ වැටකේ ගාල් අස්‌සට එන්නේ නැත. පාසල් නිල ඇඳුම සිසු සිසුවියන් විෂමාචාර ගමන් වලින් වලක්‌වන බාධකයක්‌ වන අතර ඉරිදා මෙන්ම සෙනසුරාදා දහම් පාසල් පැවැත්වීම මගින් සිසුනට දහම් පාසල්වල පිළිගත් ඇඳුම වන සුදු ළමා සාරිය හා සුදු ජාතික ඇඳුම ඇඳගෙන දහම් පාසල් ඇරී පුද්ගලික පන්ති වලට ගියත් ඒ සුදු සිල්වත් ඇඳුමෙන් විෂමාචාර ගමන් ගිය නොහැක. පාසල් නිල ඇඳුමත් දහම් පාසලේ පිළිගත් සුදු සිල්වත් ඇඳුමත් සිසු දරුවන්ගේ සදාචාරය රැකෙන රැකවරණයක්‌ වනු නිසැකය. උතුරු කළුතර වෙරළ තීරය විදේශීය සංචාරකයන් සඳහා වන නිරුවත් කලාපයක්‌ කිරීමේ අදහසක්‌ද මතුවී ඇති හෙයින් පාසල් නිල ඇඳුමත් දහම් පාසල් ඇඳුමත් සිසු සිසුවියන්ගේ සදාචාර රකින පළිහක්‌ කරගත යුතුය. දෙමාපියන් සැලකිළිමත් වන්නේ නම්, උපකාරක පන්ති අවශ්‍යම නම් තම දරුවන්ට සතියේ දිනවල හවස්‌ වරුවේ පාසල් නිල ඇඳුමෙනුත් ඉරිදා හා සෙනසුරාදා හවස්‌ වරුවේ දහම් පාසල් ඇඳුමෙනුත් පුද්ගලික පන්තිවලට යන්නට අවශ්‍ය ආකාරයට කටයුතු කළ හැකිවේ.

කළුතර දිස්‌ත්‍රික්‌කයේ දහම් පාසල් තාවකාලිකව හෝ වසන්නට සිදුවීමේ ෙ€දවාචකයෙන් ඉගෙන ගත යුතු පාඩම් රැසක්‌ තිබේ. පළමුවැන්න භික්‍ෂුන් වහන්සේලාගේත් සදාචාර සම්පන්න දෙමාපියන්ගේත් නොමිලේ ස්‌වේච්ඡාවෙන් සේවය කරන දහම් ගුරු භවතුන්ගේත් දහම් මගගන්නා යහපත් දරුවන්ගේත් විරෝධය නොතකා රටේ කිසිම තැනක අලුතෙන් සුරාසල් නොපිහිටුවිය යුතු බවයි. දෙවැන්න රටපුරා නොයෙක්‌ තැන සංවිධානාත්මකව කෙරෙන ලාබාල දැරියන් හා වියපත් කාන්තාවන් විෂම කාමාපරාධයන්ට ගොදුරු කර ගන්නා බිහිසුණු ක්‍රියාමාර්ගයන්ට සුරාව හා මත්ද්‍රව්‍ය ප්‍රබල සාධකයක්‌වී ඇතිබව අවබෝධ කරගෙන රටපුරා දහම් අධ්‍යාපනය ප්‍රබල ආකාරයෙන් ව්‍යාප්ත කිරීමයි. තෙවැන්න ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් හා නිලධාරීන් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවන් අවබෝධ කරගත යුතු සත්‍යය වන්නේ හොර මැරකම් හා ප්‍රචන්ඩත්වයෙන් තොරව නිදහසේ රටේ ජනජීවිතය පවත්වාගෙන යැමට හා ව්‍යාපාරික කටයුතු කරගෙන යැමට අවශ්‍ය සාමය පවත්වා ගැනීම සඳහා දහම් අධ්‍යාපනය ප්‍රබල සංවේදී මාධ්‍යයක්‌ බවට පත්කරගත යුතු බවයි. සමාජය තුළ සාමය හා සන්සුන් යහපත් මානසිකත්වයක්‌ පවත්වා ගැනීම සඳහා දහම් අධ්‍යාපනය ප්‍රබල ආකාරයෙන් පුළුල් කිරීම හැම අතින්ම වැඩදායකවේ. රටේ ආර්ථික, සංස්‌කෘතික අභිවෘද්ධිය සඳහා සාමය හා සංවරය අත්‍යාවශ්‍ය බව අවබෝධ කරගන්නේ නම් සුරාසල් පැවැත්වීමෙන් හා මත්පැන් වෙළ¹මෙන් ලැබෙන ආදායමට වඩා එයින් සිදුවන ජාතික ධන විනාශය හා අපරාධ ව්‍යාප්තිය බරපතළ බව පැහැදිළිවනු ඇත.

රාග, ද්වේශ, මෝහාදී පව් පතුරුවන, ආර්ථික සංස්‌කෘතික සංවර්ධනය අඩාල කරන සුරාව ව්‍යාප්ත කිරීම වෙනුවට සුරාව ක්‍රමාණුකූලව සමාජයෙන් තුරන් කිරීමට කටයුතු කළ යුතුය. අනාගත පරපුර සුරාවෙන් ඈත් කිරීම මගින් සුරාව නිසා වර්ධනය වන දුරාචාරයන්ගෙන් සමාජය බේරාගැනීම සඳහා දහම් අධ්‍යාපනය පුළුල් කළ යුතුය. දෙදහස්‌ හයසීය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය යෙදුණු පසුගිය වෙසක්‌ සමයේ රටපුරා ලක්‍ෂ හතළිහක්‌ තරම් පිරිසක්‌ අටසිල් සමාදන්වීමෙනුත් එතරම්ම පිරිසක්‌ අටසිල් සමාදන්වූ දහම් පාසල් සිසුන් ඇතුළු උවසු උවැසියන්ට දන්පැන් සැපයීමාදියෙහිත් තවත් ලක්‍ෂ ගණනක්‌ දෙනා දන්සැල් පැවැත්වීම හා තොරන්, පහන් කූඩු ආදිය සෑදීම වැනි කටයුතු වල යෙදීමෙනුත් පැහැදිලි වූයේ කෝටියක්‌ තරම්වූ මහා ජනකායක්‌ කෙරෙන් බෞද්ධකම ක්‍රියාවෙන්ම ප්‍රදර්ශනය වූ බවයි. ඒ තත්ත්වය දැක බුදුසසුන වැනසීමේ බලාපොරොත්තු සුන්වූ අධිරාජ්‍ය හවුල්කාරී මූලධර්මවාදී බලවේග බෞද්ධයන් අතරින්ම විෂමාචාර රැල්ලක්‌ මතුවී ඇතැයි ප්‍රචාරය කරමින් කුමන්ත්‍රණකාරී ආකාරයෙන් ක්‍රියාකරන්නට පටන්ගෙන ඇත. ඒ අනුව කළුතර දිස්‌ත්‍රික්‌කයේ දහම් පාසල් තාවකාලිකව හෝ වසන්නට හේතුවූ වාද්දුව සුරාසල ඉක්‌මනින් වසාදැමිය යුතුය. සුරාව ව්‍යාප්ත කිරීමේ හා අනෙකුත් කුමන්ත්‍රණකාරී බලවේගයන්ගේ අභියෝගයට පිළිතුරු වශයෙන් සෙනසුරාදා, ඉරිදා දෙකේම දහම් පාසල් පවත්වා සදාචාරය සුරැකීමේ ජාතික ව්‍යාපාරයක්‌ දියත්කළ යුතු අවස්‌ථාව උදාවී තිබේ. සුරාසල් වැසේවා· දහම් අධ්‍යාපනය වඩා ප්‍රබල ලෙස ව්‍යාප්ත වේවා· ඓතිහාසික ධර්මද්වීපය දැවෙන ලොව නිවීමේ විශ්ව ආදර්ශයවේවා···

අනගාරික ධර්මසේකර තුමා
උපුටා ගැනීම
දිවයින
2011/10/02

Related

අනගාරික ධර්මසේකර තුමා 2038483820434667009

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item