අගමැති පුටින්ට එරෙහිව ජනයා වීදි බසිති!

-චතුර පමුණුව   රුසියානු අගනුවර කලබලකාරී තත්ත්වයක්‌ ඇතිව තිබේ. ඒ අන් කිසිවක්‌ නිසා නොව ආණ්‌ඩු විරෝධීන් සටනට බැස ඇති ...

-චතුර පමුණුව
 රුසියානු අගනුවර කලබලකාරී තත්ත්වයක්‌ ඇතිව තිබේ. ඒ අන් කිසිවක්‌ නිසා නොව ආණ්‌ඩු විරෝධීන් සටනට බැස ඇති නිසාවෙනි. ආණ්‌ඩු විරෝධීන්ට පසුගියදා පැවැති මැතිවරණයේ ප්‍රතිඵල අනුව අලුත් ගැම්මක්‌, ප්‍රබෝධයක්‌ ඇතිව තිබේ. ඒ අගමැති ව්ලැඩිමීර් පුටින්ගේ එක්‌සත් රුසියානු පක්‌ෂයට මෙවර මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ලබා ගැනීමට හැකිව ඇත්තේ 50% කට අඩු ඡන්ද ප්‍රමාණයක්‌ බැවිනි. එමනිසා ආණ්‌ඩු විරෝධීහු "පුටින් නැති රුසියාවක්‌" අවශ්‍ය යෑයි මොස්‌කව් නුවර දෙවනත් වෙන තෙක්‌ කෑගැසූහ.

හිටපු කේ. ජී. බී. නිලධාරියාගේ දේශපාලන ජනප්‍රියත්වය පහළ බසිමින් තිබෙන්නේද? රුසියානු පාර්ලිමේන්තුව එනම් ඩුබාහි රුසියානු අගමැතිවරයාගේ පක්‌ෂයට හිමිව ඇති ආසන ප්‍රමාණය 238 ක්‌ පමණි. රුසියානු පාර්ලිමේන්තුවේ ඇති මුළු ආසන ප්‍රමාණය 450 ක්‌ වන අතර 2007 දී පැවැති ඡන්දයේ දී එක්‌සත් රුසියා පක්‌ෂයට ආසන 315 ක්‌ එනම් මුළු ඡන්ද ප්‍රමාණයෙන් 64% ක්‌ හිමිවිය. එහෙත් වසර පහකට පසු එම ජන බලය සේදී ගොස්‌ ඇති බව පැහැදිලිය.

2000 සිට 2008 දක්‌වා රුසියාවේ ජනපතිවරයා වූ පුටින් ආර්ථික කඩාවැටීම නිසා විනාශ වූ එරට නැවත නඟා සිටුවීමට ක්‍රියා කළේය. එහෙත් දැන් ජනතාව පුටින්ට අකැමැති වත්ද? සමහර දේශපාලන විචාරකයන් පවසන්නේ ලබන වසරේ දී නැවතත් පුටින් ජනපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව එරට ජනතාව එතරම් කැමැත්තක්‌ නොදක්‌වන බවයි. ඒ අකැමැත්ත මේ මැතිවරණ ප්‍රතිඵල හරහා ප්‍රකාශ වන්නේ යෑයි දේශපාලන විචාරකයෝ පවසති. පුටින් මෙන් දැඩි මතධාරියකු නොවන මධ්‍යස්‌ථ පුද්ගලයකු වන වර්තමාන ජනපති දිමිත්‍රි මෙද්වදෙව් නැවත ජනපති විය යුතු යෑයි ජනතාව ප්‍රකාශ කරන බව ඔවුහු පවසති. මේ ගැන විවාදයක්‌ පවතී. කෙසේ නමුත් රුසියානු දේශපාලනය යම් කැලඹීමකට පත්ව ඇත.

ලබන වසරේදී පුටින් ජනපති ධුරයට පත්වුවහොත් ඔහුට 2024 දක්‌වාම බලයේ සිටිය හැක. අවුරුදු

71 ක්‌ වන තෙක්‌ම රුසියාවේ බලවත්ම පුද්ගලයා ලෙස කටයුතු කිරීමට හැකිවේ. රුසියාවේ විරුද්ධ පක්‌ෂ නම් මේ දේශපාලන ගමනට කිසිසේත් කැමැති නැත.

ඉකුත් අඟහරුවාදා දිනයේ මොස්‌කව් නගරයේ ආරක්‌ෂාව සඳහා පොලිසියට අමතරව හමුදාවද කැඳවා තිබුණේ පුටින් විරෝධීන්ගේ ප්‍රමාණය වැඩිවූ හෙයිනි. මොස්‌කව් නුවර ආරක්‌ෂාව සඳහා කැඳවා තිබුණු පොලිස්‌ හා හමුදා භට ප්‍රමාණය හාරදහසකට අධික බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි. පුටින්ට එරෙහිව වීදි බැස ඇති ජනතාව සමග රුසියානු විරුද්ධ පක්‌ෂ වන "ගිබ්ලකෝ" හා "ජස්‌ට්‌ රුසියා" හි නායකයන්ද වීදි බැස තිබිණි. ගිබ්ලකෝ පක්‌ෂයේ නායක සර්ජි මිට්‌ට්‍රොකෙයිස්‌ ප්‍රකාශ කරන්නේ පුටින් ඇතුළු රුසියානු ආණ්‌ඩුවට ඉල්ලා අස්‌විය යුතු බවයි. මොස්‌කව් නුවර ආණ්‌ඩු විරෝධී පෙළපාළියට එක්‌වූ 30 හැවිරිදි ව්‍යාපාරිකයකු වන ඇලෙක්‌සැන්ඩර් කොනෙන්කෝ පවසන්නේ රුසියාවේ දේශපාලන වටපිටාව වෙනස්‌ වී ඇති බවයි.

ඉකුත් ඉරිදා පැවැති මැතිවරණය දූෂිත එකක්‌ බව විපක්‌ෂ දේශපාලකයන්a පවසද්දී පුටින්ගේ පක්‌ෂයේ තරුණ සමුළුව මොස්‌කව් නුවර පෙළපාළි යමින් ප්‍රකාශ කළේ ඡන්දය නිදහස්‌ව හා සාමකාමීව පැවැතුණු බවය.

කෙසේ නමුත් පුටින්ගේ පක්‌ෂයේ තරුණ සාමාජිකයන්ගේ උද්ඝෝෂණයට වඩා විශාල ජන සන්නිපාතයක්‌ ආණ්‌ඩු විරෝධී උද්ඝෝෂණ සඳහා සහභාගි වී සිටියාහ. මේ ආණ්‌ඩු විරෝධීන් පාලනය කිරීම ඉතාම අපහසු වූ නිසා 300 ක්‌ පමණ පොලිස්‌ අත්අඩංගුවට පත්විය.

යෙලේනා ඩර්ලෝවා පුටින්ගේ "එක්‌සත් රුසියා" පක්‌ෂයට ඡන්දය දුන් විශ්‍රාමිකයෙකි. එහෙත් ඇය පවසන්නේ මේ බලවත් අගමැතිවරයාගේ ජනප්‍රියත්වය පහළ බැස ඇති බවයි. පුටින් තවමත් රුසියාවේ බලවත්ම දේශපාලකයායි. නමුත් ඔහුගේ පක්‌ෂයට එල්ල වී ඇති දූෂණ චෝදනා ගැන නම් සාමාන්‍ය ජනතාව සතුටු වෙන්නේ නැහැ" ඩර්ලෝවා කියයි. 2011 මැතිවරණයේ දී රුසියානු කොමියුනිස්‌ට්‌ පක්‌ෂයට මුළු ඡන්ද ප්‍රමාණයෙන් 20% ක්‌ ලැබිණි. ඒ අනුව දෙවැනියාට වැඩිම ආසන ප්‍රමාණයක්‌ ලබාගෙන ඇත්තේ එම පක්‌ෂයයි. එහෙත් ඔවුන් පවසන්නේ මේ මැතිවරණයේ දී දූෂණ අක්‍රමිකතා රැසක්‌ සිදුවූ බවයි.

පුටින් නැති රුසියාවක්‌ අවශ්‍ය යෑයි කෑගැසූ උද්ඝෝෂකයන් අතර සිටි ඇලෙක්‌සි නවල්හී පොලිස්‌ අත්අඩංගුවට පත්විය. මොහු අගමැති පුටින්ව දැඩි ලෙස විවේචනය කරන ප්‍රමුඛ චරිතයකි. ඇලෙක්‌සි දින 15 කට සිරගත කරනු ලැබූ අතර තවත් විරුද්ධ පක්‌ෂ නායකයකු වන ඉල්යා ගාසීන්වද දින 15 කට සිරගත කරන ලදී.

ආණ්‌ඩු විරෝධී උද්ඝෝෂණ නිසා අගමැති පුටින්ගේ ඉදිරි දේශපාලන ගමනට නම් යම් බාධා ඇතිවන බව පැහැදිලිය. එහෙත් ඔහු 2012 දී නැවත රුසියාවේ ජනපති වීම කිසිවකුට වැළැක්‌විය නොහැකි වනු ඇත.
-උපුටා ගැනීම
දිවයින ඉරිදා සංග්‍රහය
2011-12-10

Related

චතුර පමුණුව 7229577513435635304

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item