ජාතික ව්‍යාපාරය සරත් ෆොන්සේකා හා කාදිනල්තුමා

-අනගාරික ධර්මසේකර පසුගිය "ඉරිදා දිවයින" පුවත්පතේ දැක්‌ම විශේෂාංගය යටතේ මහාචාර්ය නලීන් සිල්වා මහතා විසින් ලියන ලද " ජාත...

-අනගාරික ධර්මසේකර
පසුගිය "ඉරිදා දිවයින" පුවත්පතේ දැක්‌ම විශේෂාංගය යටතේ මහාචාර්ය නලීන් සිල්වා මහතා විසින් ලියන ලද "ජාතික ව්‍යාපාරය, සරත් ෆොන්සේකා හා කාදිනල් තුමා" යන හිසින් යුත් විග්‍රහයේ මාතෘකාවම යොදාගෙන මා මේ ලිපිය ලියන්නේ නලින් මහතාගේ දැක්‌මෙන් ඇතිවූ ඇවිස්‌සීම නිසාය. පළමුව සඳහන් කළ යුත්තේ, සතිපතා නලීන් මහතා ලියන දැක්‌ම විග්‍රහයේ එන සමහර අදහස්‌ ගැන මට යම් යම් ප්‍රශ්න ඇතත් පසුගිය ඉරිදා දිවයින පුවත්පතේ පළවූ ජාතික ව්‍යාපාරය, සරත් ෆොන්සේකා හා කාදිනල්තුමා විමසුමේ එන වැඩි කොටසක්‌a මා එලෙසම පිළිගන්නා බවයි. එහෙත් ජාතික චින්තනය හා ජාතික ව්‍යාපාරය උදෙසා මවිසින් ඉටු කරන ලද වැඩ කොටස ගැන තක්‌සේරු කිරීමේදී යළි උපන්නෙමි හා කරුමක්‌කාරයෝ කෘති මගින් තරුණ පරපුර අතරට ආ බුදු දහම හා මාක්‌ස්‌වාදය ගැන අවුල් මත දරන ගුණදාස අමරසේකර මහතා ජාතික ව්‍යාපාරයට කර ඇති සේවය අප වැන්නවුන් විසින් කරන ලද සේවයට ඉහළින් තබන්නට නලීන් මහතා පෙළැඹී ඇත්තේ ඔහු දන්නා බොහෝ දේ පුවත්පත් සඟරා හා පොත්පත්වලට සීමාවී ඇති නිසා විය යුතු යෑයි මම සිතමි. මවිසින් අපේ රටටත් ජාතියටත් ශාසනයටත් ජාතික සංස්‌කෘතික උරුමයටත් ජාතික චින්තනය මත පිහිටා පොදු මහ ජනතාව අතර බෙහෙවින් ඉටුකරන මෙහෙවර ගැන නලීන් මහතාට ප්‍රමාණවත් අවබෝධයක්‌ නැත. මවිසින් ඉටු කරනු ලබන ජාතික මෙහෙවර මගේ ලියවිලි තුළින් හෝ මගේ අතීත දේශපාලන කටයුතු තළින් පමණක්‌ දකින කිසිවකුට දැනුම් තේරුම් ඇති ළමා වියේ පටන් සේවයට කැප වී කටයුතු කළ, අනාගාරිකව මුළු ජීවිතයම සේවයට කැප කර සිටින මවිසින් රට දැය සමය වෙනුවෙන් ඉටුකරන මෙහෙවර තේරුම් ගත නොහැක.

මා දසසීලයෙහි පිහිටා අනගාරිකව කටයුතු කරන්නට පෙළැඹුණේ මගේ ප්‍රධාන ජනතා මාධ්‍යය දේශනය වූ නිසාය. මා අනගාරික ජීවිතයට එළැඹ ගත වූ අවුරුදු දොළහකුත් මාස දහය තුළ මවිසින් රට පුරා (උතුරේ හැර) කරන ලද දේශන සංඛ්‍යාව තුන්දහස්‌ පන්සියයකට අධිකය. ඒ සියල්ල නොමිලේ නිස්‌සරණධ්‍යාශයෙන් කරන ලද දේශනයන්ය. මා පුවත්පත් සඟරාදියට ලිපි ලිව්වේත්a පොත් ගණනාවක්‌ ලිව්වේත් රට පුරා දේශනවලට යන අතර ලැබෙන විවේකයන් අනුවය. උසස්‌ පෙළ ශිෂ්‍ය අවදියේ පටන් අනගාරික දිවියට එළැඹෙනතුරු ගෙවූ මගේ තිස්‌අට වසරක සමාජ හා දේශපාලන ජීවිතයේදී මා කෙරෙහි බලපෑ ප්‍රධාන චින්තන දහරාවන් වූයේ බුදු දහමත් ගැමි සිතුම් පැතුමුත් මාක්‌ස්‌ වාදයත්ය. මම අපේ ගමේ දහම් පාසලේ හොඳම සිසුවා මෙන්ම මාස කීපයකට වුවත් දහම් පාසලේ ගුරුවරයකු ද වූයෙමි. විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස සාධාරණ ශිෂ්‍ය අරගලවලට නායකත්වය දුන් මම ඒ හැම අවස්‌ථාවකම කළ මගේ දේශනා අවසන් කළේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේa උප කුලපතිව සිටි පූජ්‍ය කිරිවත්තුඩුවේ නාහිමියන් ශිෂ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් කාරුණිකව විසඳුම් දෙනු ඇතැයි විශ්වාසය පළකරමිනි. ඒ නිසාම ශිෂ්‍යයන් අතර සිටි බටහිර අනුකාරකයන් මා ශිෂ්‍ය සටන් උප කුලපති හිමියන්ට පාවා දෙන්නෙකු ලෙසද හඳුන්වා දුන් අවස්‌ථා තිබිණි.

සරසවියේදී කොමියුනිස්‌ට්‌ පක්‍ෂයට එක්‌වූ පසුවද මම භක්‌තිමත් බෞද්ධයකු ලෙස කටයුතු කළෙමි. ඒ නිසාම මාත් කොමියුනිස්‌ට්‌ පක්‍ෂයත් අතර ජාතික සංස්‌කෘතික ප්‍රශ්න සම්බන්ධයෙන් මතභේද තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ මාක්‌ස්‌හිදී විප්ලවවාදය සමග කිසියම් ජාතික ප්‍රවණතාවක්‌ පෙන්නුම් කළ විඡේවීරගේ දේශපාලනය සමග එකතු වන්නට මා පෙළැඹීමයි. මා විඡේවීරගේ දේශපාලනයෙන් ඉවත් වන්නට බලපෑ ප්‍රධාන සාධකයක්‌ වූයේද, විඡේවීරගේ දේශපාලනය තුළ ද බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්‌කෘතික උරුමය පිළිබඳ නිවැරැදි දැක්‌මක්‌ හෝ බුදු සමය කෙරෙහි සැබෑ ගරුත්වයක්‌ නොතිබීමයි. කෙසේ වුවත් මා විඡේවීරගේ දේශපාලනයෙන් ඉවත්වූ පසු මට නිදහසේ බෞද්ධ චින්තනය මුල්කරගත් ජාතික වූ මතවාදයක පිහිටා කටයුතු කළ හැකි විය.

මහජන රැළිවලදී බෞද්ධ දර්ශනයෙන් ආලෝකවත් වූ ජාතික චින්තනය මත පිහිටා නිදහසේ දේශන කරන්නට මට හැකි විය. හැත්තෑ හතේ මහා මැතිවරණයේදී වමේ පෙරමුණේ වේදිකාවේ මා කළ ජාතික ඉතිහාස අත්දැකීම් පදනම් කරගත් දේශප්‍රේමි ජාතිමාමක විග්‍රහයෙන් නිසා වමේ රැස්‌වීම් සාර්ථක කර ගැනීම සඳහා මගේ සේවය අවශ්‍ය විය. එය ජනිත වූ මතවාදය වමේ ජනතාව අතරට ගෙන යැම සඳහා උපයෝගී කරගත හැකි අවස්‌ථාවක්‌ විය. පීටර් කේනමන්ගේ, ඇන්. ඇම්. ගේ, නන්ද එල්ලාවලගේ, කොල්වින්ගේ, ලෙස්‌ලිගේ, දොස්‌තර වික්‍රමසිංහගේ හා ටී. බී. සුබසිංහගේ රැස්‌වීම්වලදී පවා මගේ දේශන ඇසූ ජනතාව වේදිකාව වට කරගෙන මට මුදලින් ආධාර කිරීම වමේ පැරැණි නායකයන්ගේ විශ්මයට හේතු විය. පීටර් කේනමන්ගේ හයිඩ්පාක්‌ පිටියේ ප්‍රධාන රැලියේදී මා වට කරගෙන ජනතාව දුන් මුදල් නෝට්‌ටු සුළඟින් විසිවී යැම වළක්‌වා ගැනීම සඳහා වේදිකාවේ ඒ මේ අත යමින් දහයේ, පහේ, පනහේ නෝට්‌ටු බෑගයකට එකතු කර මා අතට දෙන්නට පීටර් කේනමන් ට සිදුවීම වමේ නායකත්වය මුහුණ පෑ තත්ත්වය පෙන්නුම් කරන සංකේතයක්‌ වී යෑයි කිව හැකි වේ.

හැත්තෑහතේ මැතිවරණයේදී ප්‍රසිද්ධ මහජන රැළිවල මා කළ දේශනවල ජාතික හා ආගමික නැඹුරුව බර වැඩි බව කී වමේ පක්‍ෂ නායකයන් අතර වූ සාකච්ඡාවකදී ජන විඥන තේරුම් ගෙන කටයුතු කළ "ඇත්ත" කත_D රත්නවීර මහතා මගේ දේශන මැතිවරණ රැස්‌වීම් සාර්ථක කර ගැනීම සඳහා පලදායක වන බව කීවේ සිනාසෙමිනි. මොරටුව වමේ රැලිය සඳහා මා හාරසීයක තරම් දුර සිට උද්යෝග පාඨ කියමින් ඔසවාගෙන එනු දුටු වේදිකාවේ සිටි කොල්වින් ආර්. ද සිල්වා මහතා කිව්වේ "ධර්මසේකර සහෝදරයා මල් වට්‌ටියක්‌ කරගන්නට එපා" කියාය. මා වමේ රැස්‌වීම් කරා එනතුරු මග බලා සිටි තරුණ පිරිස්‌ මා ඔසවාගෙන ගොස්‌ වේදිකාවේ තබා මට මුදල් නෝට්‌ටුවලින් සැදූ මල් මාලා පැළඳ වූහ. ඒ තත්ත්වය සරත් මුත්තෙට්‌ටුවගම හා මහින්ද විඡේසේකර වැන්නවුන්ගේ පවා විමතියට හේතු විය. එහෙත් වමේ වේදිකාව වටා එක්‌වූ දේශප්‍රේමී පොදු මහජනතාව මා කෙරේ දැක්‌වූ විශේෂ ලැදියාවට හේතු වූයේ මගේ දේශනවලින් පළවූ ජාතිකත්වය හා ගැමි ජන සුවඳයි. මොරටුවේදී පුරං අප්පු වීරයා මුල් කරගෙන දේශනය ආරම්භ කළ මම පානදුරදී හා බලපිටියේදී මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ අධිරාජ්‍ය විරෝධී ශ්‍රේෂ්ඨත්වය ගෙන හැර දක්‌වමින් කතා කළෙමි. මාතර දිස්‌ත්‍රික්‌කයේ රැස්‌වීම්වලදී අනගාරික ධම_පාලතුමා මූලික කර ගෙන කුමාරතුංගයන්ගේ සේවය හුවා දක්‌වමින් දේශන කළ මම හේවාගම් කෝරලයේදී ටිකිරි කුමරුගේ ආදර්ශය හුවා දැක්‌වූයෙමි. වමේ වේදිකාවේ මා දේශප්‍රේමී ඉතිහාසය පදනම් කර ගෙන ජාතික ආධ්‍යාත්මය පුබුදු වද්දී සම සමාජ හිතවතුන් වූ ගුණදාස අමරසේකරලා මහාචාර්ය විජය දිසානායකලා මගේ දේශන අසා සිටියහ. අසූවේ අගෝස්‌තු මා අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ විජය දිසානායක මහාචාර්ය කුමාර මා බලන්නට හිරගෙදරට පැමිණ කීවේ ඇමරිකන් ගැති එජාප ආණ්‌ඩුව ජාතික චින්තනයේ පොදු ජන ප්‍රකාශකයා හිරකර සිටීම ෙ€දවාචකයක්‌ බවයි. ඒ වන විටත් මහාචාර්ය නලීන් සිල්වා හිටියේ නව සමසමාජ පක්‍ෂයේ වාසුදේව හා වික්‍රමබාහු සමග නායක මට්‌ටමේ ට්‍රොට්‌ස්‌කිවාදියකු ලෙසය.

ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව ත්‍රිකුණාමලය ඇමරිකන් කඳවුරක්‌ කරන්නේ යෑයි කියමින් ඊට එරෙහිව ශන්මුගදාසන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැළියේදී මා මගේ දේශනය ආරම්භ කළේ "බලේ බලේ රාසිහ දෙවියන්ගේ බලේ - ගලේ කොටුව බින්දයි තිරිකුණාමලේ" යන ජනකවි දෙපදය කියමිනි.

වී. පොන්නම්බලම් මෙහෙයවීමෙන් යාපනේ වීරසිංහම් ශාලාවේ පැවැත්වූ අධිරාජ්‍ය විරෝධී රතු දෙමළ රැලියේදී මා මගේ දේශනය ආරම්භ කළේ වත්මන් සම්මේලනයෙහිදී (ඓතිහාසික දඹකොළ පටුනේදී) ජයසිරිමහා බෝධිය වැඩම වූ කථාව කියවිණි.

මාගේ දේශනය දෙමළට පරිවර්තනය කළේ දෙමළ පියකුගේ හා සිංහල මවකගේ පුතකු වූ එවකට රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති නායකයකු වූ සිවගුරුනාදන්ය. ජයසිරිමහා බෝධිය වැඩම වූ කථාව දෙමළ තරුණයන් අතර ජනප්‍රිය නොවූයෙන් මම දෙවැනි රාජසිංහ රජුගේ ආධාර ඇතිව පෘතුගීසීන්ට එරෙහිව සටන් කළ සංකිලි ප්‍රමුඛ දෙමළ දේශප්‍රේමීන් ගැන සිහිපත් කළෙමි.

හෙක්‌ටර් කොබ්බෑකඩුවගේ ජනාධිපතිවරණ වේදිකාවේ මගේ ඉතිහාස කථා සහිත දේශන පැයක්‌ තරම් දිගුවීම අනෙක්‌ කථිකයන්ගේ සතුටට හේතු නොවූ නමුත් ඉතිහාසගත වීරෝදාර මුතුන්මිත්තන් ගැන කියමින් ඒ මුතුන් මිත්තන් අතර වූ කොබ්බෑකඩුව නාහිමියන් වැනි පූජනීය දේශප්‍රේමීන් ගැන සඳහන් කරමින් මා කළ දේශන කොබ්බෑකඩුව මහතා බෙහෙවින් ප්‍රිය කළේය. ගැමුණු යුගයේ විජයග්‍රහණයත් සමග රුවන්වැලි සෑය සෑදීම වළගම්බාගේ නායකත්වයෙන් ලැබූ ජයග්‍රහණය සමග අභයගිරිය සෑදීම ධාතුසේන රජතුමාගේ නායකත්වයෙන් ලැබූ ජයග්‍රහණ සමඟ ලෝකප්‍රකට යෝධ ඇල හා කලා වැව තැනීම ගැන මෙන්ම අවුකන මහා පිsළිමය ගැනද කියමින් රජරට දී මා කළ දේශන ඇසූ හෙක්‌ටර් කොබ්බෑකඩුව මහතා තමාගේ දේශනයට කලින් මගේ දේශනයක්‌ ලබාදෙන්නට උත්සුක විය. මම රට පුරා කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධාන රැස්‌වීම් කරා යමින් දස දහස්‌ ගණන් සහභාගි වූ

ජනරැළිවල හෙළ ජාතිකත්වය මතු කළෙමි.

ආර්. ප්‍රේමදාස මහතා හා බණ්‌ඩාරනායක මැතිනිය අතර වූ ජනාධිපති තරගයේදී මම මැතිවරණ වේදිකාවේ ජනයා ආකර්ෂණය කළ කථිකයා වූයෙමි. රැස්‌වීම්වලදී මගේ හොඳම ශ්‍රාවිකාව වූයේ බණ්‌ඩාරනායක මැතිනියයි. ජනාධිපතිවරණ වේදිකාවේදී මා හමුවූ හැම අවස්‌ථාවකම එතුමිය මගෙන් ඇසුවේ ධර්මසේකර මහත්තයා කතා කරාද" යන්නයි. "නෑ තවම නෑ" කී හැම විටම මැතිනිය එතුමියගේ කථාවට පෙරාතුව මගේ දේශනය පවත්වන්නට කටයුතු කළාය. බණ්‌ඩාරනායක මැතිනියගේ වේදිකාව මම ඊළාම් විරෝධී ජාතික රණහඬ නගන්නට උපයෝගී කර ගතිමි. මා ලක්‍ෂ ගණන් ජනතාව අතර ජාතික රණහඬ පතුරුවද්දී ගුණදාස අමරසේකරලා ජාතික චින්තනය ගැන ලියන්නට ඇතැයි මම සිතමි. එහෙත් එදා එය ඉතා දුබල හඬක්‌ විය. අමරසේකරලගේ ලිපිවලට ඉල්ලුමක්‌ ඇති වීමට මගේ දේශන හේතු විය. මා මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙදහස්‌ පහ ජනාධිපතිවරණ වේදිකාවේ දිස්‌ත්‍රික්‌ ජාතික හඬනගද්දී අපි නලින් සිල්වා මහතාගේ පුවත් විග්‍රහයන් දුටුවෙමි. එහෙත් පුවත්පත්වලින් වුවද ගුණදාස මහතා හමුවූයේ කලාතුරකිනි. මා දෙදහස්‌ පහේ ජනාධිපතිවරණ සමයේ රාත්‍රි තුලාව වැඩසටහන් මගින් උදේ හත්වැනි පැය වැඩසටහන් මගින් රාත්‍රි හා දවල් ප්‍රචාරය වූ දොරමඬලාව වැඩසටහන් මගින් මෙන්ම ගුවන්විදුලියේ සුභාරතී වැඩසටහන් මගින් ජාතික හඬ පතුරුවද්දී අපට කලාතුරකින්වත් ගුණදාස අමරසේකරයන් හමු වූයේ නැත. මා අනගාරික ජීවිතයට එළැඹ යුද බිම් මැදින් උතුරු මැද හා නැගෙනහිරත් වයඹත් දේශන පවත්වමින් තරුණයන් හමුදාවලට බැඳෙන්නට දිරි ගන්වද්දී ඒ එකම පළාතකටවත් ගුණදාස අමරසේකර මහතා තබා නලීන් සිල්වා මහතා වුවද ගිය බවක්‌ අසන්නට ලැබුණේ නැත. එහෙත් නලීන් මහතා පුවත්පත් මගින් විශේෂයෙන් "දිවයින" මගින් ජාතික ව්‍යාපාරය සඳහා සුවිසල් මෙහෙයක්‌ ඉටු කළ බවට සැකයක්‌ නැත. හැමදාමත් වෙහෙසුනේ නොමග යන තරුණ පරපුර මෙන්ම ගෝලීය වාණිජ ක්‍රියාදාමයට හසුවී ජාතික උරුමයෙන් ඈත්වන වැඩිහිටියන් පවා සුමගට හරවන්නටය. එහෙව් අපටත් ඉහළින් බටහිර පන්නයේ ජීවිත ගත කරන්නවුන් ජාතික ව්‍යාපාර ගොඩනැඟූ වීරයන් ලෙස හුවා දක්‌වනු දකින මගේ සිතට නැඟෙන්නේ දරමිටි බැඳලා, ගිනිමැල ගහලා, රෑ නිදිවරමින් රැක සිටියා එහෙව් අපට අද මෙහෙම කරනකොට දුක ඉවසාගෙන ඉන්න හොඳයි, ජයසිරිමා හාමුදුරුවනේ ගීතයයි.

මා අනගාරික දිවිමගට එළැඹුණු පසු කැලණි රජමහා විහාරයේ පමණක්‌ වෙසක්‌, පෝදින තුනකත් පොසොන් පෝදින දෙකකත් ලක්‍ෂයකට අධික ජනකායක්‌ අමතා බුදු දහම පදනම් කරගත් ජාතික චින්තනයේ හඬ පැතුරුවෙමි. එක්‌ වෙසක්‌ පෝදිනක සිරිපොද වැස්‌සේ මගේ දේශනය නොසැළී අසා සිටි ජනතාවගේ දැහැන්ගත ප්‍රතිචාරය ගැන මා සමඟ කතා කළ කැලණි විහාරාධිපති පූජ්‍ය මහින්ද සංඝරක්‌ත හිමියන් අවංකව නිහතමානීව කීවේ "ධම_සේකරතුමා දේශනා ප්‍රාතිහාර්යයක්‌ කළා" යන්නයි. මා කැලණි රජමහා විහාරයේ අවසන් වරට දේශනයක්‌ කළේ පසුගිය උඳුවප් පෝදා හෙවත් පසුගිය සෙනසුරාදාය. මා එම දේශනය අවසන් කළේ, නේටෝ බලවතුන් ලිබියාවේදී කළා මෙන් අපේ රට ආක්‍රමණය කළහොත් මහා සංඝ රත්නය පෙරටු කරගෙන සුදුවතින් සැරසී ලක්‍ෂ ගණනින් අගනුවර වීථි පුරා එක්‌විය යුතු බව කියමිනි. දස දහසක්‌ තරම් පිරිස සාදුකාර දී මගේ යෝජනාව පිළිගත්හ. ලක්‍ෂ ගණන් දේශප්‍රේමී, ජාති හිතෛෂීS, ශාසන මාමක බැතිමතුන් ජයසිරිමහ බෝධිය ළඟ පිච්ච මල් පූජාවට එක්‌වූ අවස්‌ථා දෙකක මම ඒ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව අමතා ජාතික චින්තනය මුල්කරගත් දේශන කළේ අපේ කමත් බෞද්ධකමත් වෙනුවෙන් කැප වුණු පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන්ගේ ඇරයුමෙනි. මා දළදා මාළිගයේ උඩමළුවේ අවුරුදු දෙකකදී දෙවරක්‌ දස දහස්‌ ගණන් දේශප්‍රේමී ශාසන මාමක බැතිමතුන් අමතා දේශනා කළේද කොටපොල අමරකිත්ති හිමියන්ගේ සංවිධායකත්වයෙන් පැවැති අරලිය මල් පූජාව මූලික කරගත් සුවඳ මංගල්‍යය උත්සවයන්හිදීය. එම දේශන ශබ්ද විකාශන මගින් මහනුවර නගරය පුරා බොහෝ පිරිස්‌ ඇසූ බවට සැකයක්‌ නැත. අපවත්වී වදාල අත්තුඩාවේ ශ්‍රී රාහුල මහනාහිමියන් මා අනගාරික දිවිමගට එළැඹ දෙවසරක්‌ පිරෙන්නට කලින් තමන් වහන්සේගේ පන්සලට ගෙන්වා පැවැත්වූ දේශනයට දහස්‌ ගණන් ජනයා කැඳ වූයේ එකසිය හතර නමක්‌ සමග ගම පුරා පිණ්‌ඩපාත චාරිකාවක යෙදීමෙනි. උන්වහන්සේ එසේ කළේ අපේ යුගයේ අනගාරික ධර්මපාලතුමා යෑයි මා හඳුන්වා දෙමිනි. වැවුරුකන්නල බුදුරජ වෙහෙරට සියවසක්‌ පිරෙන දා මා ගෙන්වා දහස්‌ ගණන් ජනයා අමතන්ට සංවිධානය කළේ ධර්මශාලාවේ කණුවක්‌ පාසා කුමාරතුංගයන්ගේ උද්යෝග පාඨවලින් හෙළ උරුමය පෙන්වූයේ විහාරාධිපති පූජ්‍යතිස්‌ස නාහිමියන්ය.

චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිව සිටියදී සුදු නෙළුම් කතාවලින් ඇති වූ බිඳුණු හමුදා උද්යෝගය නගාසිටුවන්නට මා කළුතර පොලිස්‌ විශේෂ කාර්ය බළකා මූලස්‌ථානයේ පුහුණු වූ කණ්‌ඩායම් හතක්‌ සඳහා දේශනා හතකට ගෙන්වූයේ පුහුණු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ජයවීර මහතාය. ජයවීර මහතාගේ ආදර්ශය අනුගමනය කළ කළුතර සේරුපිට සිවිල් ආරක්‍ෂක සේවා පුහුණු කඳවුරේ දේශන දහයකට මා ගෙන්වා කණ්‌ඩායම් දහයක දෙදාස්‌ පන්සිය ගණනකට පැය දෙකේ දේශන මගින් ජාතික ඉතිහාසය උගන්වන්නටත් එමගින් ජාතික ආධ්‍යාත්ම ශක්‌තිය වඩවන්නටත් ක්‍රියා කළ ආකාරය දැනසිටියා නම් ගුණදාස අමරසේකර මහතා අපිටත් ඉහළින් ජාතික ව්‍යාපාරය ගොඩනැඟූවකු ලෙස හඳුන්වන්නට නලින් සිල්වා මහතා එඩිතර වන්නේ නැත. රනිල් අගමැතිව සිටියදී ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් පුහුණු කරන රත්මලාන කොතලාවල ජාතික ආරක්‍ෂක විද්‍යා පීඨයේ දේශන සඳහාත් ඡේ. ආර්. පී. සූරියප්පෙරුම මහතාත් කැඳවාගෙන ගියේ රට දැය ගැන දැවෙන හැඟීම්බර පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන්ය. කොටපොළ අමරකිත්ති හිමියන්ගේ අරමුණ සාර්ථක වූ ආකාරය මගේ පැයක දේශනය අවසානයේ මා වටකරගත් පුහුණු වන තරුණයන්ගේ උද්යෝගී කථාවලින් පැහැදිලි විය. අනගාරික ජීවිතයට එළැඹ ගත වූ කාලය තුළ මවිසින් කොළඹ රාජකීය විද්‍යාලයේ (රෝයල් කොලීජියේ) පටන් කතරගම මධ්‍ය මහා විද්‍යාලය දක්‌වාත් මරදාන ආනන්ද විදුහලේ පටන් එප්පාවල මධ්‍ය මහා විද්‍යාලය දක්‌වාත් නුගේගොඩ අනුලා විද්‍යාලයේ පටන් බලංගොඩ ශාන්ත ඇග්නස්‌ විද්‍යාලය දක්‌වාත් කැලණිය ධර්මාලෝක විදුහලේ පටන් මොණරාගල රාජකීය විදුහල දක්‌වාත් රජයේ පාසල් දහසකට වැඩි සංඛ්‍යාවකත් රට පුරා දහම් පාසල් දහසකට වැඩි සංඛ්‍යාවකත් පිරිවෙන් දෙසීයකට කිට්‌ටු සංඛ්‍යාවකත් වරාය බෞද්ධ සංගමය, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ බෞද්ධ සංගමය, ඛනිජ තෙල් සංස්‌ථා සේවක සංගමය හා රට පුරා ස.ණ.ස, සමිති සංවත්සර රැසකත් කළුතර මහරෝහලේ කාර්ය මණ්‌ඩලය සාත්තු සේවා පුහුණු ආයතනය (ජාතික ස්‌වස්‌ථතායතනය) ආදී ආයතන ගණනාවකත් ගුරු අභ්‍යාස විද්‍යාල (විද්‍යා පීඨ) ගණනාවකත් විශ්වවිද්‍යාලවලත් පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ හිමියන් නායකත්වය දරන සෞඛ්‍ය සේවා සංගමයේ අවස්‌ථා කීපයකත් අනගාරික ධර්මපාල ජන්ම දිනය නිමිත්තෙන් දෙසතියක්‌ තුළ මාතර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රධාන විදුහල් හතළිහකත් රටේ විවිධ පළාත්වල ලේ දන් දෙන්නන්ගේ සමිතිවලත් මහනුවර සිංහල වෙළෙඳ සංගමය වැනි ජාතිමාමක සංවිධානවලත් මා කළ ජාතික ව්‍යාපාරය ශක්‌තිමත් කිරීම අරමුණු කරගත් දේශනය ගැන දන්නා කවරෙක්‌ නම් ජාතික ව්‍යාපාරය ගොඩනැඟීමට මට වැඩි වෙහෙසක්‌ ගුණදාස අමරසේකර හෝ වෙනත් ලේඛකයකු විසින් කර ඇත්තේ යෑයි කියන්නේද? වැඩිම රණවිරුවන් බිහි කළ වයඹ පළාතේ රණවිරු උපහාර උළෙල නාමල්අංග රජමහා විහාරයේ හමුදා පොලිස්‌ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති අවස්‌ථාවේ මා එම උපහාර උළෙලේ ආරාධිත විශේෂ දේශනයට ගෙන් වූයේ මගෙන් රට රැකීමේ සටනට සිදුවූ සේවය නිසා බවට සැකයක්‌ නැත.

අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ, රණවිරුවකුගේ සරත් ෆොන්සේකා මහතා බටහිර අධිපතිවාදීන්ගේ ඉත්තෙකු වී රට හතුරු ක්‍රියාමාර්ගයකට යන්නට ඉඩ නොතබා, සතුරන්ගේ අවියක්‌ වන්නට නොදී එජාප මන්ත්‍රී කණ්‌ඩායමෙන් බාගයක්‌ දිනා ගත්තාක්‌ මෙන් හිටපු හමුදාපතිවරයා ද මහින්ද ජනාධිපතිතුමාගේ පිලට දිනා ගන්නට උපායශීලීව කටයුතු කළ යුතු බවයි. සිංහලයකුව උපන් සිංහලකම හඳුනන රංජිත් කාදිනල්තුමා ද ජාතියේ මිතුරකු බවට පත්කර ගත යුතුය. 

අනගාරික ධර්මසේකර තුමා
-උපුටා ගැනීම
ඉරිදා දිවයින
2011-12-24

Related

අනගාරික ධර්මසේකර තුමා 265015809187815666

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item