දහතුනෙන් එහාට නොව මෙහාට

-මහාචාර්‍ය නලින් ද සිල්වා ඉන්දීය විදේශ ඇමැති ක්‍රිෂ්ණා මහතාට අනුව ජනාධිපතිතුමා දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඔබ්බට යැමට එකඟ වී ඇත...

-මහාචාර්‍ය නලින් ද සිල්වා
ඉන්දීය විදේශ ඇමැති ක්‍රිෂ්ණා මහතාට අනුව ජනාධිපතිතුමා දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඔබ්බට යැමට එකඟ වී ඇත. මෙයින් කියෑවෙන්නේ කුමක්‌ දැයි ජනාධිපතිතුමා විස්‌තර කර නැත. එසේ වුවත් පොලිස්‌ බලතල හා ඉඩම් පිළිබඳ බලතල පළාත් සභාවලට පවරා දීමට තමන් සූදානම් නැති බව එතුමා කිහිප වරක්‌ම පවසා ඇත. මේ අතර පසුගියදා පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඩිව් ගුණසේකර, තිස්‌ස විතාරණ හා වාසුදේව නානායක්‌කාර මහතුන් ද තමන් පළාත් සභාවලට පොලිස්‌ බලතල පවරා දීමට එකඟ නොවන බව ප්‍රකාශ කර ඇත. එය යහපත් ප්‍රකාශයකි. අප කළ යුත්තේ දහතුනෙන් එහාට යැම නොව හැකිනම් දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කිරීමය. එසේ කිරීමට යම් බාධා ඇත්නම් කළ යුත්තේ දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ඉවත් කිරීමය. කෙසේ වෙතත් ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව රටේ යම් කැළඹීමක්‌ ඇති වී තිබෙන බව පැහැදිලි ය.

දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ ඉන්දියාවේ බලපෑම මතය. එයට පදනම සැකසූයේ අවුරුදු විසිපහකට පෙර අත්සන් තබන ලද අපකීර්තිමත් ඉන්දු -
ලංකා ගිවිසුම ය. රජිව් ගාන්ධි මහතා ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ අත් බැඳ අත්සන් කරගන්නා ලද ගිවිසුම ඉන්දියාවේ මැර බලය ලෝකයාටම ප්‍රදර්ශනය කරමින් ක්‍රියාත්මක කරන ලද පරිප්පු දේශපාලනයේ ප්‍රතිඵලයක්‌ විය. ඉන්දියාව තම බලය ප්‍රදර්ශනය කළේ මෙරට සිංහලයන්ට විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ට එරෙහිව ය. ඉන්දීය නායකයන් බුදුදහම ගැන ප්‍රසිද්ධියේ යහපත් ස්‌වරයකින් කතාකළ ද ඉන්දියාවේ බුදුදහමට තැනක්‌ නැති බව එරට සංචාරය කරන විට පෙනී යන කරුණකි. ලෝකයේ බිහි වූ එකම අනාත්මවාදී දහම යෑයි කිව හැකි බුදුදහමට ආත්මවාදී බමුණන්ගේ ඇත්තේ තදබල විරෝධයකි. ඔවුන් බුදුදහම ආරක්‍ෂා කළ සිංහලයන්ට වෛර කරන්නේ නම් ඒ ගැන පුදුම විය යුතු නො වේ. ලංකාවේ ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක්‌ ගැන ඉන්දියාව කිසි දිනක සිංහලයන්ගේ පැත්තෙන් බලා නැත.

තමිල්නාඩුවේ බලපෑම ද මත ඉන්දියාව ප්‍රශ්නය විග්‍රහ කළේ දෙමළ ජනයාගේ පැත්තෙනි. ඔවුන්ට අනුව සිංහලයන්ගෙන් දෙමළ ජනයාට විශාල අසාධාරණයක්‌ වී ඇත. උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික වාසභූමි වෙයි, ඒ පළාත්වලට බලය විමධ්‍යගත කළ යුතු වෙයි. එමෙන් ම ඉන්දියාව කිසි දිනෙක මෙරට ඉතිහාසය, සංස්‌කෘතිය භූගෝලීය ජන ව්‍යාප්තිය සලකා බැලුයේ නැත. ඈත අතීතයේ සිට මෙරට එක්‌සේසත් රාජ්‍යයක්‌ වූ බව බුදුන්වහන්සේගේ කාලයටත් පෙර සිට ම වාංශික රාජ්‍යයන් රාශියකගේ එකතුවක්‌ පමණක්‌ වූ පැරණි භාරතයේ නූතන පාලකයන්ට හා ඉන්දීය සිවිල් සේවයට හා රෝ ඔත්තු සේවයට තේරුම් ගැනීමට නො හැකි විය. මොවුන්ගෙන් වැඩි පිරිස බ්‍රාහ්මණ වාංශිකයන් බව අමතක නොකළ යුතු ය. ඉන්දියාව ඒකීය රාජ්‍යයක්‌ වූයේත් ඉන්දියාව වූයේත් ඉංගී්‍රසීන්ගේ යටත් විජිත පාලන සමයේදී ය. සිංහලයන්ගෙන් දෙමළ ජනයාට මහත් අසාධාරණයක්‌ වී ඇතැයි යන පදනමේ සිට ඉන්දීය ප්‍රාන්ත ආකෘතිය මත පිහිටා ඉන්දියාව අප මත පළාත් සභා බලයෙන් පැටවීය. දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට සිංහලයන්ගෙන් බලවත් විරෝධතාවක්‌ පැන නැගිණි. එය සම්මත කරගැනීමේදී ජයවර්ධන මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බස්‌රථ යොදා හෝටලයක සිට පාර්ලිමේන්තුවට එක්‌කරගෙන යැමට සිදුවිය. මේ ව්‍යායාමයේදී ඉන්දියාවට බටහිරයන්ගේ පූර්ණ සහාය ලැබිණි. ජයවර්ධන මහතා ඉන්දියාවට විරුද්ධව ඇමරිකාව ප්‍රධාන බටහිරයන්ගේ පැත්ත ගත් යෑංකිඩිකී වුවද බටහිරයෝ ඔහුගේ ආධාරයට නො පැමිණියහ. බටහිරයන්ගේ ආශිර්වාදය ඉන්දියාවට ලැබිණි.

මෙරට ජනවාර්ගික ප්‍රශ්නයක්‌ ඇත්නම් ඒ සිංහලයන් හා ඔවුන්ගේ සංස්‌කෘතිය මර්දනය කිරීම සම්බන්ධයෙන් වෙයි. ඉතා කෙටියෙන් නමුත් නැවතත් ඉතිහාසය මතක්‌ කළ යුතුය. ගැමුණු රජුගේ කාලයේ සිට මෙරට පදිංචි වී සිටින දෙමළ ජනකායක්‌ නැත. යාපනය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා වූ කාරතිගේසු ඉන්ද්‍රපාල මහතා තම උපාධි නිබන්ධනයෙන් පෙන්නුම් කර ඇත්තේ දොළොස්‌ වැනි සියවසට පෙර මෙරට දෙමළ නිත්‍ය පදිංචිකරුවන් නොසිටි බව ය. අද යාපනයේ සිටින දෙමළ ජනයා පැවත එන්නේ දහහත්වැනි සියවසේ මැදභාගයේ එහි පදිංචි වී සිටි සිංහල බෞද්ධයන්ගෙන් (ඊනියා දෙමළ බෞද්ධයන් එහි සිටි බවට කිසිම සාධකයක්‌ නැත. ඔවුන් ඉඳ ඇත්තේ විදේශීය ආධාර ද ලබන ඇතැම් මහාචාර්යවරුන්ගේ ඔළුවල පමණ ය.) මලයාලම් බස කතාකළ කේරළයෙන් පැමිණි වේලක්‌කාරයන්ගෙන් හා ලන්දේසීන් විසින් දහහත්වැනි සියවස අගභාගයේ දී දුම්කොළ වගාවට කෝරමණ්‌ඩල වෙරළෙන් ගෙනෙන ලද කෘෂිකාර්මික කම්කරුවන්ගෙනි. ලන්දේසීහු වෙල්ලාල නමින් හඳුන්වනු ලැබූ මේ කෘෂිකාර්මික කම්කරුවන් දකුණු අප්‍රිකාවට ද ගෙන ගියහ. එහි නැටෝල් ප්‍රදේශයෙහි ඔවුන්ගෙන් පැවත එන්නන් අදත් දැකිය හැකි ය. හින්දු කුල ක්‍රමය අනුව වෙල්ලාලයෝ ශුද්‍රයෝ වූහ. එහෙත් ඔවුහු සමාජ ධුරාවලියෙහි ඉහළ තැනකට ලන්දේසීන් හා ඉංගිරිසින් විසින් ඔසවනු ලැබීය. යාපනයේ සිටි සිංහල ගොවියන් හා වෙනත් අය දෙමළ හින්දු සමාජයෙහි කෝවියාර් (ගොවියා යන්නෙහි දෙමළ උච්චාරණය) හා වෙනත් පහත් යෑයි සම්මත කුලවලට ඇද දමා කෘෂිකාර්මික කම්කරුවන් ලෙස හින්දු කුල ක්‍රමයේ ශුද්‍රයන් වූ වෙල්ලාලයෝ කුල ධුරාවලියේ ඊනියා ඉහළ තත්ත්වයකට පත්කරනු ලැබූහ. ආරුමුගම් නවලාර්තුමා මේ ඊනියා උසස්‌ කිරීමට සෛද්ධාන්තික පසුබිමක්‌ සකස්‌ කළේ යෑයි සිතිය හැකි ය.

මෙරට දෙමළ හින්දු සමාජයෙහි ඉන්දියාවේ මෙන් ප්‍රධාන බ්‍රාහ්මණ කුලයක්‌ නොමැතිවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ද ඈත අතීතයේ සිට පැවතෙන දෙමළ ජනකායක්‌ මෙරට නොමැති බවය. ලන්දේසීන්ට අවශ්‍ය වූයේ කම්කරුවන් මිස පූජකයන් නො වේ. එබැවින් ඔවුහු මෙරටට බ්‍රාහ්මණයන් ආනයනය නො කළහ. වෙල්ලාලයන්ට බ්‍රාහ්මණ අවශ්‍යතා පිරිමසා ගැනීමට සිදුවූයේ එක්‌ පැත්තකින් වැටුප් ලබන පූජකයන් පිරිසක්‌ ඇතිකර ගැනීමෙනි. අනෙක්‌ පැත්තෙන් ඉන්දියාවේ බ්‍රාහ්මණයන්ගෙන් උපදෙස්‌ ලබාගැනීමෙනි. ජයලලිතලා නේරුලා පමණක්‌ නොව චෙන්නායි මධ්‍යස්‌ථානය කරගෙන නිකුත් කෙරෙන හින්දු පුවත්පතේ අයිතිකරුවෝ ද බ්‍රාහ්මණ වංශිකයෝ වෙති. ලන්දේසිහු ද ඉංගිරිසිහු ද සිංහලයන්ට එරෙහිව හින්දු වෙල්ලාලයන් යොදාගත්හ. විශේෂයෙන්ම ඉංගිරිසිහු පොන්නම්බලම්, කුමාරස්‌වාමි පවුල ඔස්‌සේ මුළු රටටම වෙල්ලාල නායකත්වයක්‌ ගොඩනැගීමට උත්සාහ කළහ. ඔවුහු දෙමළ ජනයාට හා සිංහලයන්ට ඉතිහාසය, ජනගහනය ආදී කිසිවක්‌ නොසලකා ව්‍යවස්‌ථාදායකයේ එක සමාන නියෝජනත්වයක්‌ ලබාදී සිංහලයන්ට විරුද්ධ දේශපාලනය තවත් තහවුරු කළහ. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ පනහට පනහ ඉල්ලීම, ඩොනමෝර් කොමිසම හමුවේ සර්වජන ඡන්දයට එරෙහිව සාක්‍ෂි දීම, සෝල්බරී කොමිසම ඉදිරියෙහි සිංහලයන්ට බහුතරයක්‌ නොලැබෙන ආකාරයට ආසන බෙදන ලෙස ඉල්ලීම ආදිය ඔස්‌සේ හින්දු වෙල්ලාල නායකයෝ තම සිංහල විරෝධී ව්‍යාපාරය දිගට ම ගෙනගියහ. එහෙත් 1931 සර්වජන ඡන්දයෙන් පසුව රටේ නායකත්වයට වෙල්ලාලයන් පත්වීම සිහිනයක්‌ බවට පත්විය. රාජ්‍ය භාෂා පනතට කලින් 1949 දී චෙල්වනායගම් නම් උග්‍ර සිංහල විරෝධී දකුණු ඉන්දීය ක්‍රිස්‌තියානි සභාවේ දෙමළ නායකයා ඒ බව තේරුම් ගනිමින් දෙමළ ජනයාට වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීම සඳහා ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවා ගත්තේය. ප්‍රභාකරන්ලා ඔහුගේ දේශපාලන පුත්තු වූහ. චෙල්වනායගම්ගේ අවශ්‍යතාව පිරිමැසීමට පුත්තු ආයුධ අතට ගත්හ. ඔවුන්ට ඉන්දියාවේ ද බටහිරයන්ගේද මූල්‍ය, ආයුධ හා වෙනත් ආධාර ලැබිණි.

සිංහලයන්ගේ විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ගේ උරුමය අහෝසි කිරීමටත් ඒ සංස්‌කෘතිය විනාශ කිරීමටත් බටහිරයෝ අවුරුදු දෙසීයකට අධික කාලයක්‌ තිස්‌සේ උත්සාහ ගනිති. ලංකාවේ ඇත්තේ ඒ ප්‍රශ්නය මිස 1956 න් පසු ඇතිවූ ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක්‌ නො වේ. ප්‍රශ්නය 1956 න් පසුව ඇතිවූයේ නම් රාමනාදන්ලාගේ ජාතිවාදී දේශපාලනය, චෙල්වනායගම් 1949 දී දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවීම ආදිය තේරුම් කරන්නේ කෙසේද? දෙමළ ජනයාට දෙමළ වීම නිසා මෙරට සිදුවී ඇති අසාධාරණයක්‌ නැත. මුළු ලෝකයේම මෙරට වාසය කරන දෙමළ ජනයා තරම් වරප්‍රසාද ලබන "සුළු ජන" කොටසක්‌ නැත. දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සිංහල උරුමය නැතිකිරීම සඳහා ඉන්දියාව ඇටවූ උගුලක්‌ වේ. සිංහල බහුතරය එයට විරුද්ධ වෙති. එය සම්මත වූයේ ගිනි මැළ මධ්‍යයෙහි ය. එය අහෝසි කිරීමට හැකි නම් එය කළ යුතුය. සිංහලයන්ට එරෙහිව දෙමළ ත්‍රස්‌තවාදය යොදා ගනිමින් ගෙනගිය ව්‍යාපාරය නන්දිකඩාල් කලපුවේදී හමුදාමය වශයෙන් පරාජය කෙරිණි. හමුදා මෙහෙයුම් ද දේශපාලන ක්‍රියාමාර්ගයකි. අපේ රණවිරුවන් සටන් කළේ ඊළමට විරුද්ධව පමණක්‌ නො වේ. දහතුන මගින් කළ බලය බෙදීමට ද විරුද්ධව ඔවුහු සටන් කළහ. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දහතුන දේශපාලනිකව අහෝසි විය. එහෙත් එය තවමත් නීතිය වෙයි. අප කළ යුතුව තිබුණේ නන්දිකඩාල් ජයග්‍රහණයත් සමග දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නන්දිකඩාල් කලපුවටම විසිකර එය අහෝසි කිරීමට දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒම ය. එදා එය කළ හැකිව තිබිණි. අද යම් හේතූන් නිසා එය කළ නොහැකි නම් එහි ඇති සිංහල විරෝධී වගන්ති ඉවත් කිරීමට ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ඉදිරිපත් කළ යුතුය. එසේ නැතිව දහතුනෙන් එහාට යැමක්‌ ගැන කතාවක්‌වත් නොකළ යුතුය. එසේ කිරීම රණවිරුවන්ගේ ජීවිත අවයව පූජාවලට කරන ෙද්‍රdaහිකමකි. ඔවුන්ගේ ජීවිත පූජා නැතිවම දහතුනෙන් එහාට යැමට තිබිණි. යුද්ධ ජයග්‍රහණවලින් දිනාගත් දේ විසිකර ආපසු සාකච්ඡා මේසයට යැමට සිංහලයන් කැමැති වේ යෑයි ඉන්දියාව සිතන්නේද? ඉන්දියාව හමුදා මෙහෙයුම් ආධාරයෙන් එකතු කරගත් ගෝව ප්‍රදේශය පිළිබඳ යළි සාකච්ඡා කිරීමට එකඟ දැයි අපි ක්‍රිෂ්ණා මහතාගෙන් අසමු.

මහාචාර්‍ය නලින් ද සිල්වා
උපුටා ගැනීම
දිවයින
2012-01-22

Related

මහාචාර්‍ය නලින් ද සිල්වා 8257042716193827327

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item